Friday, December 20, 2013

මරණය අභියස...

මටත් නොදැනිම මුවින් ගිලිහී
සුළඟෙ පාවෙන ඒ සුසුම් පොද
රැගෙන යයි මගෙ සිත අතීතෙට
කඳුළ පමණක් දායාද කර
සිනහවක සේයා රුවක් නැති 
දුකින් බර පව්කාර ඉරණම
මගෙන් මට නොලැබෙන සමාවකි
කළ වැරදි මතකෙට නැගෙන විට..

මාත් සමඟම එකට කාබී
අතරමන් කළ මා මිතුරු කැළ
කාත් කවුරුත් නැතිව අද මම
හිරකාරයෙකි බිත්ති හතරක
තෙත් බරිත වූ පුළුන් රොද මෙන්
කඳුළු පෙඟවූ මගේ හදවත
යකඩ පොලු අතරින් බලමි දුර
නිදහසක් පෙනෙනා තෙරක් නැත...

හෙලන හුස්මට දිනක් ඉතිරිය
බියෙන් මිරිකී හඬයි මගෙ හිත
තොණ්ඩුවකි අළුගෝසුවා අත
සිහිවන්නෙ මා දෑස් පියු කල
තිගැස්සී සියොලඟම තෙත්වී
දෑස හැර කෑ මොර ගසා හඬ
හිස් මිනිසෙක්ව මිය යන්නෙ හෙට
දෛවයේ සරදම් මැදින් මම...



Thursday, December 19, 2013

රස්තියාදුකාරිය...


රස්තියාදුකාරයෙකු කියූ විට එසැණින් මතකයට නැගෙන්නේ පිළිවෙලක් නැති කොන්ඩයකින් හෙබි, අණ්ඩ දැමූ කලිසමක් ඇඳි අරමුණක් නැතිව කණ්ඩායමක් සමඟ හෝ තනිව පාරක් අසල ගැවසෙන පුද්ගලයෙකි. බොහෝ මිනිසුන් රස්තියාදුව අනුමත නොකරන අතර රස්තියාදුකාරයින් ප්‍රතික්ෂේප කරති.

සමස්තයක් වශයෙන් ගත් කල, රස්තියාදුකාරයන් මිස " රස්තියාදුකාරියන්" සමාජයේ දක්නට නොලැබේ.නමුත්, සමාජයට බියෙන් ප්‍රසිද්ධියේ රස්තියාදු නොගැහුවද, සිතින් රස්තියාදුව ප්‍රිය කරන එක් ගැහැණු ලමයෙකු පිළිබඳව මම හොඳාකාරවම දනිමි.

කුඩා කල සිටම රස්තියාදු ගැසීමට හා වල බැසීමට ඉමහත් ආශාවකින් පසුවූ මා හට සමාජ සාරධර්ම හා අනෙකුත් සම්මතයන් නිසාවෙන් කිසි දිනක ඊට ඉඩක් නොලැබුණි.

මද්‍යම රාත්‍රියද පසු වන තෙක්ම යහළු යෙහෙළියන් සමඟ අරමුණක් නැතිව ගාලු-කොළඹ පාරේ ඇවිදින්නටත්, Galle face, MC, bus stand  වැනි ස්ථානයන්හි රැය පහන් කිරීමටත් ඉමහත් කැමත්තක් දැක්වුවද , එයට කිසි දිනක ඉඩ හසර නොලැබෙන බව පෙනී යන විට , මේ ජීවිතය විදිනවාද? විදවනවාද ? යන්න සිතා ගත නොහැක.

අනාගතයේදී ගරුකටයුතු රැකියාවක නිරත වීමට නියමිත මා හට , මා රිසි ජීවිතය කිසි දිනක නොලැබෙනු ඇත.exam, assignment හා project  වලට මැදිවී සිතට එකඟ නැති ජීවිතයක් ගෙවන මා හට කවදා හෝ රස්තියාදුකාරියක වන්නට ලැබේවායි තුන් සිතින්ම ප්‍රාර්ථනා කරමි....


""මට අවනත නැති මම

දනිමි මම වැරදි බව
සිතින් සිතුමට පවා
දැනෙයි නොකළයුතු බව
සිතින් කීවත් සදා..

ලෝකයා සිනාසීමට
බලා සිටිනා නිසා
ඉදිරි පියවර තබා
ආයේ අරගත්තෙ මා..

මට මා හිමි නැතිය
දුකින් මිරිකී හඬා
අවනතක් නැතිය සිත
අකීකරු වී මෙදා..

නොහැක තව ඉවසන්න 
කූඩුවක සිරවෙලා
තටු ගසා ඉගිල්ලෙමි
සියෙලු දේ පසෙකලා..     ""


ඇය...

අවුරුදු කීපයකට පෙර ලියන්නට ආරම්භ කළද එය මා අතින් ගිළිහී ගියේ ඉතාමත් මෝඩ ආකාරායකටය.නැවත වරක් ලිවීම ආරම්භ කිරීමට කිසිදු අදහසක් නොතිබුන මා හට එබඳු අදහසක් යළි පහළ වූයේ " ඇය" නිසාවෙනි. ඇය කාගේ කවුද, ජීවත් වන්නේ කොතනකද යන්න හෝ ඇය පිළිබඳව කිසිවක් නොදනිමි.

මා ඇයව දකින්නේ අහම්ඹෙන් මෙනි. campus  එකේ සිට නිවස දක්වා ගන්නා බස් සංචාරයේ හසුවන මහමෝදර මුහුදු මං තීරුවේ පසෙක ඇති බංකුවක වාඩිවී මුහුද දෙස බලා සිටිනා ඇය කියන්නට උත්සහ ගන්නේ කුමක්ද විනා ඇය කිසිවක් කියන්නට වෙර දරනවාද යන්නවත් තෙරුම් ගැනීමට මට නොහැකි විය.

ඕනෑම සිද්ධියක මුල, මැද හා අග සෙවීම මනුස්ස ස්වභාවයයි. නමුත් "ඇය" හා "ඇගේ සිද්ධිය" යන දෙකෙහිම මුල, මැද, අග හෝ කිසිදු අර්ථයක් මට නොවැටහේ.

ඇය හා මා අතර කිසිදු බඳීමක් නොතිබුනද, ඇය පිළිබඳ එක් වරම අමතක කිරීමට මට නොහැකි විය. බංකුවක වාඩිවී  light කණුවකට පිටදීගෙන සිටි ඇය, කිසිදා නොලියන අදිටනින් සිටි මගේ සිතට කවි සිතුවිලි ගෙන ආවේ බස් රථයෙන් බහින්නටත් පෙරය..නිවසට පැමිණි විගසම, සිතට නැගි සිතිවිලි මෙට්ටය යට ඇති කවි පොතට එකතු කළේ යටි සිතින් ඇයට කෘතඃඥ වෙමිනි.


""  
පහන් කණුව යට..

හඬන මුහුදට මුහුණ ලා
පාට පාට ගල් ඇතිරූ..
පටු පාර දෙපස ඇති
කොන්ක්රීට් ලෑල්ලට බරවී..
මුහුද දෙස බලා සිටිනා ඇය
ගොම්මන් අඳුර ගානක් නැතිවා සේ
නිසොල්මන්වම හිඳ.
හිස හැරවූයේ දකුණට විටින් විට...

සිහින් සිරුරකි
මිළාන වූ පෙනුමකි
එනමුත්
බලාපොරොත්තු දැල්වුණු දෑසකි...

දැල්වුනු පහන් කණුව යට
ඉරණමක් ලියවී ඇත
බොල් අහසට නොතේරෙනා
හිස් බවක් ඉතිරිව ඇත...                        ""







Tuesday, December 17, 2013

පිවිසුම...

ලිවීම ආරම්භ කර දින කීපයක් ගත වුවද, බ්ලොග් එකක් කිරීමට තරම් ඉස්පාසුවක් මා හට නොතිබුණි. exam එක අතරතුර බ්ලොග් පිස්සුව ඔලුවට ගැහුවද, බ්ලොග් කෙරුවාව පස්සට දැමීමට තීරණය කළේ exam ඇණ ගැනීමට බැරි නිසාවෙන්මය.

exam දින කීපයේ, library  එකෙ වැඩ කිරීමට පුරුදු වූ බැවින් නිවසට පැමිණෙන විට බොහෝ දිනයන්හි රෑ 7 කණිසමත් පසු වුණි. තාත්තා සමඟ මෝටර් සයිකලයේ පසුපස හිදගන්නා මා, නිවසට ළඟා වන තුරුම හිඳින්නේ මගේම ලොවක් තුළය..
විටෙක අහස දෙස , තවත් විටෙක පාර දෙපස බලමින් පමිණෙන මා හට, බ්ලොග් එකක් නොතිබුණත් එහි පළ කිරීමට සිතට නානාප්රකාර සිතුවිලි දාමයෙහි කෙළවරක්, සීමාව අනන්තය දක්වා අනුකළනය කළද දක්නට නොලැබිණි.

එක් දිනක් අහස දෙස බලමින් පමිණෙන විට මුලු අහසටම එක් තරුවක් පමණක් එළිය දෙනු දැක පැරණි කියමනක් මා මතකයට නැගුනි.

" තනි තරුවක් දිහා බලන් wish එකක් කළාම එක ඉශ්ඨ වෙනවලු..."

දෙවතාවක් නොසිතූ මා, දෑස් පියාගෙන පැතුවේ අන් කවරක් වත් නොව.. නහය තෙක්ම එරී සිටින මේ exam එකට හොද ප්‍රතිඵලයක් ලබේවායි කියාය... ප්‍රතිඵල කෙසේ වෙතත් එවිට ඔලුවට පැමිණි කවි පද වලට නිවසට පැමිණි පසුද තව පද ඇමිණුනේ නොදැනුවත්වම මෙනි.

 “    අනේ මම පව්නේ...

සඳත් නැති සෙසු තරුත් නැති
ඝන අන්ධකාර අහසේ
තනිව බැබළෙන තරුවකට මම
මගේ දුක කිව්වේ

දරුව නුඹ කිම තැවෙන හේතුව
මට කියනු වැන්නේ
තරුව මා දෙස දිලිසි දිලිසී
බලාගෙන ඉදියේ

දුකක් නැත මට ප්රාර්ථනාවකි
කරන්නට ඇත්තේ
exam එක කල් යවනු මැන
එපා වී ඇත්තේ

ඇයි දරුවා ඔබ නැද්ද පොත පත
පාඩම් කරන්නේ
වැඩක් නොකළම කොහොමදෝ මම
pass කරවන්නේ

මගේ හද තුළ බුර බුරා නැගි
සෝක ගිණි දැල්ලේ
තරුවටත් බෑ පිහිට වන්නට
අනේ මම පව්නේ...                 “



දා පටන් තවමත් , රෑ තනි තරුවක් අතිදැයි බලන මා මාගේ බ්ලොගයට " කතා කරන තරු" යයි නම් කරේ මාගේ අයියණ්ඩියගේද අදහස් විමසීමෙන් අනතුරුවය...

Template by:

Free Blog Templates