Wednesday, February 5, 2014

කළු සුදු සිහින


මිනිසෙකුට මිනිසෙකු නොපෙනෙන, ඇසි පියක් ගසන්නටවත් වෙලාවක් නැති කොළඹ නගරයේ , උදෑසන පාරට පැමිණි මට හෝන් හඬ නංවමින් දුවන්නට ඉඩ හසර හොයන වාහන වලට අමතරව දකින්නට ලැබුණේ ඇවිස්සුණු කඩි ගුලක කඩියන් මෙන් කඩිමුඩියේ දුවන මිනිස් ඔළු ගොන්නකි.

IDH හන්දියෙන්, 175 බසයට පොරකන මිනිසුන් දෙස මොහොතක් බලාසිටි මට, මමද යා යුත්තේ මේ බස් රථයේම නොවේද යන්න මතක් වූයේ මොහොතක්ට පසුවය. බලා නොසිටි මමද ඔවුන් සමඟ පොරකා ජය ගතිමි.දැන් මමද බස් රථය තුළය. තනි කකුළෙන් හෝ මම ජය ගතිමි.





රාජගිරියෙන් බැසීමට නියමිත වූ මට, බැසීමට අවශ්‍ය  නොවූයේ, අනෙකන් මාවත් ඇදගෙනම බස් රථයෙන් ඉවතට පැමිණි බැවිනි.රාජකාරිය තවමත් අවසන් නැත. මීළඟට 176 අල්ලා ගැනීමට දිවිය යුතුය. මෙම කාර්යබහුල බස් සංක්‍රාම අවධියේ දුටු දසුනක් අසල මගේ දෙනෙත නතර විය. මා නොදැනුවත්වම මගේ පාද ක්‍රියාත්මක වූවත් සිතින් තවමත් මම, එම දසුන මෙනෙහි කරන්නට වීමි.

පදික වේදිකාවෙ සවිකර ඇති යකඩ වැටකට පිටදී අවට කලබලය නොදැනෙන, නොපෙනෙන ගානට නිදහසේ උදෑසන ආහාරය බුක්ති විඳිනා මහළු යාචක යුවලකි.ඔවුන් පසු කර ගමන් කරනා පාද සිය දහසකි.නමුත් ඔවුන්ට එය බාධාවක් නොවුනි.පොඩි වුණු පත්තර කොළයක ඔතා තිබූ එම ආහාරය කුමක් වුවත්, රස බොජුනක් නොවන බව දුටුවනම මට වැටහුණි. නමුත් ඔවුන් එය රස වින්දේ රස බොජුනකටත් වඩා වටිනා ලෙසිනි.




මෙතරම් වයසට ගියද, මෙතරම් අගහිඟකම් මැද්දේ වුවද තවමත් තරුණව පොහොසත්ව පවතින ඔවුන්ගේ ආදරය හා සබැදියාව විග්‍ර කරන්නට මට නොවැටහේ. ඔවුහු යාචකයන් වුවද, සතුට යැද්දේ නැත.මිනිසත්කමින් හා ආදරයෙන් පිරිපුන්ය. කොතරම් කලබල ස්ථානයක වුවද ඔවුහු ඔවුන් රිසි නිදහස බුක්ති වින්දහ. දූවිල්ලක් තරමට වත් මායිම් නොකරන සමාජයක ඔවුන් කොතරම් සැහැල්ලුවෙන් කල් ගෙවන්නේද යන්න සිතූවිට, ඔවුන් කෙරේ ඉරිසියාවක් නොව, අපි ගෙවන මේ ජීවිත පිළිබඳව කළකිරීමක් පමණක් ඇතිවේ.

ඉමක් නොපෙනෙන ආශාවන්
                        මුදුන් පත් කර
කෙළවරක් නොමැති මුඩු බිමක
                        සක්මන් කර
මංමුළාවූවන් ලෙස 
                          හඹායන
වර්ණයක් නොමැති
                        කළු සුදු සිහින...

රාමුවක කොටුවී
                       සීමා මැද
අඳුර අත පත ගා 
                       අන්ඳයන් ලෙස
ඉදිරියක් ගැන සිතා
                        වර්තමානයක් මැද
අරමුණක් සොයන
                        හිස් ජීවිත....

Template by:

Free Blog Templates