දුහුවිලි සුළඟින් ඇගෙ වත දෝවනවා
අත පය දිගහැර කඳු මුදුනට යනවා
නාස් කුහර විදහා හුස්මක් ගන්නා
දුඟදක් නැත නිදහස් සුවඳයි දැනෙනා
කුණු කන්දක්ය එය ඔබ හට ගඳගසනා
ඇය හට කෑම කන්දකි කුසගිනි නිවනා
සිලි සිලි බෑගයක විසිකළ නෙත ගැටෙනා
හනිකට අවුස්සනේ බඩගිනි හින්දා
පෝර උරයක් රැගෙන කුණු ගොඩ පීරන්නේ
හසුවන ප්ලාස්ටික් බඩු එහි දාගන්නේ
විසිතුරු සෙල්ලම් බඩු සිත තුළ නළියන්නේ
අත පය කැඩුණු බෝනික්කෙකි හමුවන්නේ
කුණු කන්දෙන්ම ගත් ඉටි රෙද්දක් පිසදා
රාත්රිය ගෙවයි එහි මදුරුවන් කකා
අහසේ තරු බලබින් නෙත් පියන් වසා
හෙට හිරු පායන්නෙ මෙලෙසම නේද සිතා..